කාලය ගතවන සේයාවක්වත් මට නොදැනේ.ඒ තාත්තා සමඟ කතා බහ කරමින් ඔහු ගෙවත්තේ එළවලු පැළවලට වතුර දමන සැටි,පොහොර දමන සැටි බොහෝ වෙලාවක් බලා සිටි නිසා විය යුතු ය.
අපේ සීයා තරම් ගොවිතැනට පේවුණු වෙනත් කිසිම කෙනෙක් මා දැක නැත.ගෙදරටත් වඩා ඔහුගේ ජීවිතය ගත වුණේ හේනේ කුඹුරේ ය.සීයාගේ සෙවණේ හැදී වැඩුණු තාත්තා ද ගෙවත්තේ නොයෙකුත් දෑ වගා කළේ ඒ නැඹුරුව නිසා විය යුතු ය.ඔහුගේ ගෙවත්ත දැකුම්කළු ය.ඒ තරම් සරුසාර ගෙවත්තක් කොළොම්පුර ගෙන්දගම් පොළොවේ කොතැනකවත් නැතැයි මට සිතේ.
“අප්පච්චි කොළඹ ඇවිල්ලත් වවන වැඩේ නතර කළේ නෑ නේද.මට නම් හරි පුදුමයි”
“පුතා ශිෂ්‍යත්ව විභාගෙ පාස් වෙච්ච නිසා උඹ ගැන හිතලා මෙහේ පදිංචියට ආවා මිසක ගම දාලා එන්න නම් මගෙ හිතෙ යන්තමින්වත් කැමැත්තක් තිබුණෙ නෑ.ගම අතෑරියට මේ පුරුදු අතාරින්නෙ කොහොමද..? ඒක නෙමේ දැන් ඔය විභාගෙන් පස්සෙ පුතා අලුත් පන්තියකට යනවද?”
ඔවු..මේ විභාගෙ පාස් උනා ම මම 7 වසරේ..”
ඒ කීවාට තාත්තාට තේරෙන්නේ නැත.තාත්තාට අකුරු,ඉලක්කම් බැරි ය.එහෙත් පාසලෙන් මා උගත් බොහෝ දේට වඩා ඔහුගේ ජීවන තක්සලාවෙන් මා බොහෝ දේ උගත්තෙමි.එක් වර ම තාත්තාගේත් මගේත් කතාවට බාධා වූයේ ලියුම්කරුගේ සීනුවයි.
“අන්න ලියුම් ඇවිල්ලා”යි කියමින් මම වහා ලියුම්කරු වෙත දිව ගියෙමි.
“අප්පච්චිගෙ නමට තියෙන්නෙ.”
“මේ නහින දෙහින කාලේ මට ලියුම් එවන්නෙ කවුද.”තාත්තාගේ මුහුණේ රැඳුණු සිනාව සමඟින් ඔහු ප්‍රශ්න කළේ ය.
ලියුම් කවරය ගලවා මම ලියුම කියවන්නට පටන් ගත්තෙමි.එහි සඳහන් ව තිබුණේ කෘෂිකර්ම අමාත්‍යාංශය පෞද්ගලික සංවිධානයක් සමඟ එක් ව පවත්වන ආදර්ශ ගෙවතු තේරීමේ තරඟයකට, අපේ ගෙවත්ත ග්‍රාම නිලධාරි විසින් නිර්දේශ කර ඇති බවත් ඉන් පළාතේ හොඳම ගෙවතු 10 අතරට අපේ ගෙවත්ත තේරී ඇති බවත් ය.”
මට දැනුනු සතුට වචනවලින් පැවසිය නොහැකි තරම් ය.තාත්තාට නම් අමුතු සතුටක් පේන්නට තිබුණේ නැත.”
“තෑගි බෝග ගන්න නෙමෙයිනෙ පුතේ මේව කරන්නෙ.ලැබුණොත් ලැබුණ දෙයක් ගන්නවා.”
“ඉතින් අප්පච්චිමනෙ කියන්නෙ වවන්නෝ-දිනන්නෝ කියලා..මේ අහන්නකො අප්පච්චි,ඊළඟ සතියෙ නිලධාරීන් කිහිප දෙනෙක් එනවලු අවසන් වටයට තේරුණු ගෙවතු බලන්න.කෘෂිකර්ම ඇමතිතුමත් එනවලු තෑගි දෙන උත්සවේට.”
ඊට දින දෙක තුනකට පසු අපේ ගෙවත්ත නරඹන්නට කිහිපදෙනක් පැමිණිය හ.අවසන් ප්‍රතිඵලය උත්සව දිනයේදී ලබා දෙන බැවින් එදිනට උත්සවයට සහභාගී වන මෙන් ඔවුහූ අපට ඇරයුම් කළහ.
උත්සව දිනය ද එළැඹුණි.තාත්තාත් මමත් කඩිමුඩියේ ම උත්සවයට යෑමට සූදානම් වුණෙමු.දලුගම්න් බසයට නැගගත් අපි පැයක් ගතවන්නට පෙර උත්සව ශාලාවට ළඟා වුණෙමු.අපේ තාත්තා වැනි ගොවි මහත්තුරු ශාලාවට ම හිටියේ දෙතුන් දෙනෙකි. ඉතුරු සියලු දෙනා ටයි කෝට් හැඳි මහත්වරුන් ය;කෙටි සායවල් හැඳි නෝනලා ය.
“මේ පළාතේ මිනිස්සු හරියකට වවන්න කරන්න දන්න අය නෙවෙයි.ඔය කලිසම් කෝට් ඇඳන් ඉන්න අය කොහොමද තාත්තේ හේන් කුඹුරු වවන්නෙ..?”
මගේ පැනයට තාත්තා කාටත් නොඇසෙන්න සිනාසුණේ ය.
“එහෙම කියන්න එපා පුතේ,ඔය දැන් අපි ජීවත් වෙන දලුගමත් ඉස්සර බතබුලතින් සරු ගමක්ලුනෙ.අර අපේ ගෙවල් ළඟ ඉන්න ඉස්කෝලෙ මහත්තයා තමයි මට ඔය කතන්දරේ කිව්වෙ.”
උත්සවය පටන් ගන්නේ ඇමතිතුමා පැමිණි පසු ය.මම තාත්තගෙන් ඒ කතන්දරය අසා දැනගත්තෙමි.
“බොහොම ඉස්සර කාලෙ,ඒ කියන්නෙ කැලණිතිස්ස රජ්ජුරුවෝ රජකම් කරන කාලෙ කැලණි පුරවරේ ම බොහොම සරුසාරෙට තිබ්බලු.රජ්ජුරුවන්ගෙ නොහොබිනා වැඩ නිසා දෙවියො කෝප වෙලා මහ මුහුද ගොඩගලලා මහා විනාසයක් උනානෙ.සමහරු නම් කියන්නෙ මේ මහා ජල කඳට කැලණිතිස්ස රජ්ජුරුවොත් බිලි වුණා කියලා.ඒත් සමහරු නම් කියන්නෙ රජ්ජුරුවෝ මහමුහුදට බිලි වුණේ නෑ කියලා.ඉස්කෝලෙ මහත්තයා කියන්නෙ නම් ඉතිහාසෙ ලියලා තියෙන විදියට රජ්ජුරුවෝ මහමුහුදට බිලි වුණා කියලා.මෙවා ඉතින් මිනිස්සු කාලයක් පුරා පවත්වාගෙන ආපු දේවල්නෙ.ඇත්ත නැත්ත හොයනවට වඩා මේ කතාවල ගන්න මොන තරම් ආදර්ශ තියද...
මේ මහා විපත්තියෙන් පස්සේ තමන් කරපු කියපු දේවල් ගැන රජ්ජුරුවො බොහොම කණගාටුවට පත් වුණා.ඒ කාලෙ වැඩ උන්නු හාමුදුරුවරු රජ්ජුරුවන්ට උපදෙස් දුන්නලු රජුටත්,රටටත් මතුවට විපතක් නොවෙන්න දන් පින් කරලා දෙවියන්ටත් ඒ පින් අනුමෝදන් කරන්න කියලා.”
“ඉතින් රජ්ජුරුවෝ එහෙම කළා ද” මම නොඉවසිල්ලෙන් තාත්තාගෙන් ප්‍රශ්න කළෙමි.
“ඔවු පුතේ..රජ්ජුරුවෝ බොහොම පින් දහම් රැස් කළා.හැබැයි ටික කාලයකට පස්සෙ වැහි හිඟ කාලයක් උදා උනාලු.පෑවිල්ල එක්ක ම බුලත් වැල්වලට ලෙඩක් ඇවිත් තියෙනවා.දැන් මුළු පළාතෙ ම බුලත් වැල් සේර ම මියැදිලා.මාලිගාවෙ දාන දුන්නට ස්වාමීන් වහන්සේලාට දැහැත් විට පිළිගන්වන්න විදියක් නෑ.රජ්ජුරුවෝ රාජ පුරුෂයො යෙදෙව්වා කොහෙන්හරි බුලත් හොයන් එන්න කියලා.එක ඇමතිවරයෙක් බුලත් හොයාගෙන ම එනවා කියලා රජවාසලෙන් පිට වෙලා යනකොට වතුර කළයක් අතින් ගත්ත බොහොම දුප්පත් මනුස්සයෙක් හම්බ වුණාලු.මේ මනුස්සයා බොහොම ආයාසයෙන් බුලත් කොටුවක් නඩත්තු කරන බව ඇමතිවරයට දැනගන්න ලැබුණා.ඉතින් ඇමතිතුමා බොහොම සන්තෝසයට පත්වෙලා රජවාසලට බුලත් අරගෙන ගියා.තමන්ගේ ඇමතිවරයාට බුලත් ලබා දුන්න මේ ධෛර්යමත් ගොවියා රජ මාළිගයට කැඳවපු රජ්ජුරුවො දලු බුලත් හමු වූ ප්‍රදේශය ගම්වරයක් විදියට ගොවියට ම පවරලා තව තෑගි බෝග එහෙමත් දුන්නලු.එදා ඉදන් දලු බුලත් හමු වෙච්ච ගම දලුගම වුනා ලු.”
“ දුප්පත් අපි වගේ අයත් එහෙනම් මේ පළාත්වල වගා කරලා තියෙනවා නේද අප්පච්චි..” මම සිනාසෙමින් තාත්තාට කීවෙමි.
තාත්තාගේ කතන්දරය නිමා වත් ම කෘෂිකර්ම ඇමතිතුමා උත්සව සභාවට පිවිසුණේ ය.හොඳම ගෙවතු තුනක් සඳහා ඇමතිතුමා අතින් ජයග්‍රාහකයින්ට ත්‍යාග පිළිගැන්වුණි.ඒ නම් අතර තාත්තාගේ නම නොතිබුණි.තිළිණ ලබාගත් තිදෙනා ම මල් වර්ග වවා රට යවන ව්‍යාපාරිකයන් තිදෙනෙකි.ලස්සන මල් වර්ග වවා ඇති නිසා ඒ ලොකු මහත්වරුන්ගේ වතු බොහොම ලස්සනට ඇතැයි මට සිතුණි. තිළිණ ලබාගත් පසු ඔවුන් සභාව ආමන්ත්‍රණය කළත් ඒ කිසිවක් අපට නොතේරුණේ ඔවුන් ඉංග්‍රීසියෙන් කතා කළ නිසා ය.තාත්තාට තිළිණයක් නොලැබීම ගැන මගේ හිතේ පැවතියේ ලොකු කණගාටුවකි.අපි උත්සවය නිමා වූ පසු එළියට පැමිණ බස් නැවතුම බලා පිය මැන්නෙමු.
“තාත්තට දුක නැද්ද..මල් වර්ග රට යවන අයට විතර ද හොඳම ගෙවතු තියෙන්නෙ..?
“දුක් වෙන්නෙ මොකට ද පුතේ..කැලණිතිස්ස වගේ රජවරු අද නෑ නොවැ.”තාත්තා මද සිනාවක් පාමින් කීවේ ය.
(මෙයට වස්තුවිෂය වූ දලුගම ග්‍රාම නාම සම්භවය පිළිබඳ ජනප්‍රවාද කතාන්දරය 1978 දී සෝමසිරි කැලණිය මහතා ප්‍රකාශයට පත් කළ මායාරට ජනකතා නම් පොතේ දැක්වෙන්නකි.)