Sunday, June 24, 2018

මොහොතකට තනිවෙන්න....

මිනිසා වනාහි සාමූහික සත්ත්වයෙකි.එහෙත් හුදෙකලාව ජීවත්වන මිනිස්සු ද නැත්තේ නො වේ.මා ඔබට ආරාධනා කරන්නේ හුදෙකලා ව ජීවත් වන්නට නොව එවැනි මිනිසුන්ගෙන් ජීවිතය ඉගෙන ගන්නට ය.හුදෙකලා ජීවිතය කොතරම් දුෂ්කර ද යන්න එසේ ජීවත් වන්නෝ දනිති.එහෙත් ජීවිතය ඉගෙන ගන්නට එය හරි අපූරු ප්‍රවේශයකි.අනෙකාට ආදරය කරන්නට මත්තෙන් අප ඉගෙන ගත යුත්තේ තමාට ප්‍රේම කරන්නට ය.තම ජීවිතය දෙස හැරී බලා ස්වයං ගවේෂණයක යෙදෙන්නට තනිකම මග කියනු ඇත.
ආයාසයකින් තනි වෙන්නට උත්සහ දැරුවොත් ඔබ තපස්වරයෙකු වී නවතිනු ඇත.එහෙයින් එසේ තනි වෙන්නට උත්සහ දැරීය යුතු නොවේ.අඩහෝරාවකට නිහඬ ව  ඔබේ සිතුවිලි අතර ඔබ තනි වෙන්න.මගේ හොඳම මිතුරා මා මිස අසල්වැසියා නොවන බව ඔබට පසක් වේවි.

“When everything is lonely I can be my best friend.”
                                                                              Conor Oberst

Friday, June 8, 2018

   ජාති ජරා ව්‍යාධි මරණ



මේඝ වලාවෝ නගිති;බසිති.
එහෙත් මේඝයට බියෙන් ඔබ ඔබේ හිස හකුළා ගත යුතු නොවේ.


ඔබේ ඉරණම ලියන්නා ඔබ ය.


මිනිසෙක් ලෙස උපත ලැබූ අප කාටත් ප්‍රශ්න ඇත.ප්‍රශ්න නැති මිනිසුන් මේ ලෝකයේ නැතැයි අපිට කොහෙත් ම සිතන්නට බැරි ය.එහෙත් ප්‍රශ්නවලට අපේ ජීවිතය තීරණය කරන්නට ඉඩ දිය යුතු නැත.ජීවිතයේ අප ලබන සුඛ දුක්ඛ අත්දැකීම් සියල්ල අප ගේ සුඛ විහරණය පිණිස අප ම සාධාරණීකරණය කර ගත යුතුය.ජීවිතයේ පහසු අවස්ථා සන්තුෂ්ටිය  යැයි කියා සරල ව සිතිය හැකි වුව ද,දුෂ්කර අවස්ථා දෝමනස්සයන් යැයි කියා අමතක කළ නොහැක.එහෙයින් ඒ සෑම දුෂ්කර අවස්ථාවක් ම ජීවිත අත්දැකීම් යැයි සිතා පරිණත බුද්ධියෙන් සිතන්නට අපි උත්සහ ගත යුතු වන්නෙමු.

ඒ පරිණත බුද්ධිය ලබන්නට එබඳු බුද්ධිමය ප්‍රභාවක් තිබූ මිනිසුන් ගැන අප කියවා තිබිය යුතු ය. මේ මාධ්‍ය ක්ෂේත්‍රය උඩුයටිකුරු කළ අපූරු මිනිසෙකුගේ කතාවකි.

අපේ කතා නායකයා  ධනවත් පවුලක උපත ලැබූ   උත්සාහවන්ත මිනිසෙකි. පියා ධනවත් අයෙකු වුවද ඔහු තරුණ වයසේදී ම ගෙදරින් පැන යන්නට මාන බැලූ අයෙකි.වයස අවුරුදු 17දී පමණ හේ හමුදා සේවයට බැඳෙන්නට සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටිය ද ඔහුගේ බලාපොරොත්තු සුන් වී ගියේ,ඔහුගේ දුබල පෙනුම නිසා ය.කිසිසේත්ම ජීවිත අපේක්ෂාවන් සුණු නොකර ගත් හෙතෙම ජීවිතය පිළිබඳ ස්ථිර බලාපොරොත්තු දල්වා ගෙන සිටියේ ය. ඔහු ඉන්පසු ජර්මනියේ බොස්ටන් නුවරට පැන ගත්තේ ය.ජීවිතය පිළිබඳ නව මං සොයා ගිය හෙතෙම එහි පුස්තකාලයකින් ඉංග්‍රීසි හා නීතිවිද්‍යාව හදාරන්නට විය.
දිනක් එහි චෙස් ක්‍රීඩා කරමින් දෙදෙනෙකු අතරට ආ මේ අපූරු මිනිසා අයෙකුගේ ජයග්‍රහණය සඳහා උපායශීලී මාර්ගයක් පෙන්වා දී ඇත.ඒ චෙස් ඇදීමේ නිරත වූ දෙදෙනා කවරෙකුත් නොව,ජර්මනියේ ප්‍රධාන පුවත්පතක කර්තෘ මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකි. මොහු පිළිබඳ මවිතය පළ කළ ඔවුන් අවසානයේ දී සිය පුවත්පතට ඔහුට ආරාධනා කළේ ය.අපේ කතාවේ කතා නායකයා පුවත්පත් කලාවට අවතීර්ණ වන්නේ මෙතැනිනි.ඔහු දිව රෑ නොබලා වෙහෙස මහන්සි වෙමින් කටයුතු කළේ ය.කලක් කොටලුවන් බලා ගනිමින්,ගමන් මලු ගෙන යමින් කටයුතු කළ ඔහු තුරුණු වියේදීම පුවත්පත් ප්‍රකාශකයෙක් වී පසුව පුවත්පත් හිමිකරුවෙක් ද විය.
’නිව්යෝර්ක් වර්ල්ඩ්’පුවත්පතේ හිමිකරු වන විට  ඔහුගේ ඇස් අර්ධ වශයෙන් අන්ධ වී තිබුණි.වසර අටක් නවයක් ගත වන විට ඔහුගේ දෑස් සම්පූර්ණයෙන් ම අන්ධ විය.ශබ්ද අසා සිටීමට නොහැකි තත්ත්වයක් ඔහුට ඇති වූ නිසා වෛද්‍යවරුන් ඔහුට උපදෙස් දුන්නේ,විවේකී මනසින් ජීවත් වීමටයි.එහෙත් ඔහු සාගර යාත්‍රාවක හිඳ සිය පුවත්පතේ කටයුතු කළ බව සඳහන් ය.ජීවිත කාලයෙන් අඩක් පමණ අඳ නෙතින් ලෝකය දෙස බැලූ මේ අසහාය මිනිසා අන් කවරෙකුත් නොව “ජෝශප් පුලිස්ටර්”ය
නූතන ජනමාධ්‍ය කලාව නැංවීම සඳහා ප්‍රමුඛ මෙහෙවරක් ඉටු කළ ‘පුලිස්ටර්’ සිය ඉරණම ස්වෝත්සාහයෙන් ම ජයග්‍රහණයේ මාවතට මෙහෙයවූ අසහාය මිනිසෙකි


Wednesday, June 6, 2018

මනසින් තරුණ වීම

අපි කවුරුත් හැඩට ඉන්නට කැමැත්තෙමු.හම සුදු කරගන්නට,ලප වසාගන්නට පමණක් නොව කෙස් ගස් හිටවන්නට පවා අද විවිධ  උපායමාර්ග බිහි වී ඇත.මේ සෑම ක්‍රමවේදයකින් ම මිනිසා අපේක්ෂා කරනුයේ බාහිරින්  තාරුණ්‍යය සදාකල්හි ම පවත්වා ගැනීම ය.සාමාන්‍ය වේතනයක් ලබා පවුලක් නඩත්තු කරන මනුෂ්‍යයකුට ජීවිත කාලය පුරා හරි හම්බ කළ දෙයින් සැත්කමක් කොට තාරුණ්‍යය රැක ගත හැක.එහෙත් එහි සැබෑ ප්‍රතිඵලයක් ඇත් ද?බාහිර ස්වරූපය තරුණ  වුවද, ඔබගේ අභ්‍යන්තරය ජරා ජීර්ණ වී ගොස් ඇත්නම් එහි ඇති ඵලය කිම ද?අභ්‍යන්තරයේ තාරුණ්‍යය රැකේ නම් බාහිරින් ඔබ කොතෙක් මහලු වුව ද කම් නැත.භෞතික වශයෙන් දිරා යාම ලෝක ස්වභාවයයි.එහෙත් ඇතුළාන්තය  මහලු වන්නේ නම් එයට වග කිව යුත්තා ඔබ ම ය.අභ්‍යන්තරික වශයෙන් යෞවනයෙකු වීමට පහසු මගක් ඇත.ඒ මග ඉපැයුමකි.ආයෝජනයකි.
කුමක් ද ඒ මග?
ඉගෙනීම...
ඉගෙනීමට වයසක් නැත.ඉගෙන ගන්නා තැනැත්තාට වයස ගතවෙනවා දැනෙන්නෙත් නැත.පොතපතින් ,ගුරුවරයෙකුගෙන් හෝ ජීවිත අත්දැකීමෙන් බොහෝ දේ ඉගෙන ගන්නා තැනැත්තා සදාකල්හි ම යෞවනෝදයෙහි ජීවත් වෙයි.ලතින් ඇමරිකානු ප්‍රමුඛ ලේඛිකාවක වන ඉසබෙල් අයියන්දේ ජීවිත අත්දැකීම් ඔස්සේ නව නිර්මාණ බිහි කළ තැනැත්තියකි.ඈ පතපොතට වඩා ජීවිතයෙන් බොහෝ දෑ උගත් තැනැත්තියකි.ඈ සිය ප්‍රථම නවකතාව වන ‘ද හවුස් ඔෆ් ස්පිරිට්ස්’ ලියන්නේ වයස අවුරුදු හතළිහේදී  පමණ ය.ගිලන් ව මියැදෙන්නට සිටි තම සීයාට ලියමනක් ලෙස ලියූ එම දීර්ඝ ලේඛනය පසු කලෙක අග්‍රගණ්‍ය නවකතාවක් ලෙස ප්‍රකට විය.අත්දැකීම් මගින් ඉගෙන ගන්නා ඇතැම් දේ පතපොත කියවා ලැබිය නොහැක.වයසින් මුහුකුරා පරිණත වීම ඉගෙනීමට බාධාවක් නොකර ගත යුතු ය.කොතැන කෙසේ කවරෙකුගෙන් ඉගෙන ගත් නමුත් අප විමසිය යුත්තේ අප ඉගෙන ගන්නේ මොනවාද යන්නයි.අප ජීවත් වන්නේ ඉතා කෙටි කාලයකි.හිස් මිනිසෙකු විලස මියැදීමට වඩා පරිපූර්ණ මිනිසෙකු ලෙස මිය යාම කෙතරම් නම් අගනේ ද..
ඉගෙනුම නවතන ඕනෑම කෙනෙකු මහලු අයෙකි.නොනවත්වා ම ඉගෙන ගන්නා තැනැත්තාගේ තාරුණ්‍යය රැකේ.අනගි වන්නේ මනසින් තරුණ වීමයි.
A person who stops learning is old and who keeps learning stays young. The greatest thing is to keep the mind young
(හෙන්රි ෆෝර්ඩ්ගේ ඉගෙනුම පිළිබඳ සුප්‍රකට කියමන වස්තුවිෂය කරගනිමින් ලියැවුණු සටහනකි.)


Tuesday, June 5, 2018

මතක

රැහැයි හඬවත් නොමැති

නිහඬ පාළු ම රැයක

හදවතේ පුපුරු ගසනා හඩක්

 මට ඇසේ..

කර්කෂ වු කොළොම්පුර

ගිගුම් වැසි නැති දාක

සියොලග ම සිසිල් වී 

යන වගක් මට දැනේ...

නිතර පෙම්බස් දෙඩූ වස්සානයේ මතක

මා සිතේ යළි යළිත් 

ප්‍රතිස්මරණය කරයි...

Sunday, June 3, 2018

වෙනස - Difference

මේ කුටියට ඇත්තේ එක ම දොරටුවකි.
ඇතුළ සිටින්නාට එය පිටව යනු පිණිස ය.
පිට සිටින්නාට එය ඇතුළු වනු පිණිස ය.
වෙනසක් නැත...
වෙනස ඇත්තේ ඒ දෙස  බලන ආකාරයේ ය.

This chamber has one and only door.
 It is an exit door for a person who stay inside. 
And this same door is an entering door for a person who stay outside.
There is no difference...
The difference depends on how we look at the door


කවි බස

එදිනෙදා නෙත ගැටෙන ගද්‍ය පද්‍ය නිර්මාණයන්හි බස කෙසේ හැසිරවිය යුතු ද,එය නිවැරදි විය යුත්තේ කෙසේ ද යන්න බොහෝ ලිපිවල අඩුවක් නැතිව දක්වන බව කිව මනා ය.නිර්මාණකරණයේ දී (වෙසෙසින් ම කාව්‍යකරණයේදී)උපයුක්ත භාෂාව පිළිබඳ ශාස්ත්‍රීය ලේඛන කොතෙක් ඇතත්,කවි ලියන්නෝ ඒවා ලඝු කොට සලකති.වෙදැදුරන් කොතෙක් සිටිය ද රටක ලෙඩුන්ගේ අඩුවක් නැත්තා සේ ම භාෂා ප්‍රාමාණිකයන් කොතෙක් සිටිය ද කවි බස ගිලන් ව ඇත.එක්කෝ වෛද්‍යවරු සක්‍රීය විය යුත්තෝ ය.නැතහොත් රෝගීහූ තම රෝගීබව හඳුනා ගත යුත්තෝ ය.කවි බස ගැන මේ කෙටි සටහන තබන්නේ එකී පරමාර්ථයෙනි.
භාෂාව අවියකි.අයෙකුගේ හදවත පසාරු කොට දමන්නට වුව ද එය ට ඇත්තේ අසහාය ශක්තියකි.කවි බස ඊටත් වඩා බලවත් ය.කවියෙන් කෙනෙකුගේ හදවත පණ ලබයි;තවකෙකුගේ හදවත මිය යයි.එනයින් ගත් කළ බසට පණ ඇත.අභෞතික,විඥානගෝචර බලයක් භාෂාවට ඇති බව කෙනෙකු පැවසුවහොත් එහි ද වරදක් නැත.
කවි බස නොහඳුනන්නට බලපාන මූල සාධකය "කවිය" හඳුනා නොගැනීමයි.හුදු වචන පෙළක් ගැළපූ පමණකින් එය කවියක් යැයි කියන්නට පෙළඹෙන නූතන කවියෙකුට අනුව මෙම සටහන ද කවියකි.එහෙත් එය එසේ නොවේ.පළමු ව කවියා 'කවිය' යනු කුමක්දැයි වටහා ගත යුතු ය.
කාව්‍ය,නාටක,ගායන ආදියෙහි ප්‍රාරම්භය සොයා ගියහොත් එය මානව ඉතිහාසයේ ආගමික හෝ අභිචාරාත්මක විශ්වාස සමඟ බැඳී ඇති බවට සාධක ඇත.ආගමික සාහිත්‍යය නූතන කවියෙකුට වුවද අධ්‍යයනය ප්‍රවේශයකි.

"හංසාදිච්චපථේ යන්ති – ආකාසේ යන්ති ඉද්ධියා
නිය්‍යන්ති ධීරා ලෝකම්හා - ජිත්වා මාරං සවාහිනිං"
(හංසයෝ අහසේ යත්.යෝගීහු ඍද්ධියෙන් යත්.නුවණැත්තෝ සේනාව සහිත මාරයා පරදා ලෝකයෙන් නික්ම යත්)

මෙය බැලූ බැල්මට  ගාථාවකි.එහෙත් එය ඥානයේ ප්‍රතිභාව සියල්ලට ම වඩා අගනා බව කියන කාව්‍යයකි.මට හැගෙන ලෙස බුද්ධිමය අනුභූතියක් ඔස්සේ එය නිබන්ධිත ය.නිරංජන් ගුරුගේ නම් කවියා ලියූ පහත කවිය ,පෙර උපුටා දැක්වූ ගාථාවේ දිගුවක් බව හැඟේ.

"කුසල අකුසල බරිත වන සිත
වෙනස් වී ගොස් බවෙන් බවයට
නිමල සුදු නෙළුමක් පරිදි යස
පිපේවා සංසාර වැව මත"
(ධ්‍යාන:තුන්වන වෙළුම-2016-4 )

එහෙයින් සියල්ලට පළමුව කවිය හඳුනා ගත යුතු ය.කවි බස පෝෂණය වන්නේ එවිට ය.

ෆේස්බුක් කවිපිටුවල අප දකින ඇතැම් කවියක ,කාව්‍යමය ගුණය මුක්ත වී ඇත්තේ භාෂාවේ අඩුලුහුඬුකම් නිසා ය.සඳැස් නිර්මාණවල එළිවැට ගැන සිතා ඇතැමෙක් තම අභිමතය අනුව පද බෙදති.අක්ෂර වින්‍යාසය ද තම සිතැඟි පරිද්දෙනි.විකල්ප ප්‍රපංච සොයා ගොස් නිර්මාණකරණයේ යෙදෙන කවියෝ මේ පිළිබඳ තවත් සිය අවධානය යොමු කළ යුතු වෙති.ඔවුන්ගේ ප්‍රතිභාව ඉන් පරිපූර්ණ වනු ඇත."මලානික"යන වදන සළකා බලන්න.ඇතැමෙක් එය මූර්ධජ ළ යොදා ලියති.එය සාවද්‍ය වේ."මළා නික" හෝ "මලා නික" යනුවෙන් අනවශ්‍ය වදන් බෙදීම් සිදුකොට ලියා ඇති අවස්ථා ද එමට ය.සුදක්ෂ කවියෙකුගේ වුවද විදග්ධභාවය සුන් කර දමන්නට කවි බස කගපතක් වන බවට මෙය කදිම නිදර්ශනයකි.කඩුව ඇත්තේ සියතින් ගෙල සිඳගන්නට නොවන බව මට සිතේ.නව්‍ය කවියෙකුට මෙය සම්ප්‍රදාය ගුරු කොට ගත් හණමිටිකරුවෙකුගේ සටහනකැයි විවේචනය කිරීමට ද අයිතියක් ඇත.

සාහිත්‍යය සමාජයේ "කවිබස"ගැන ඇති කතිකාවත ප්‍රතිනිර්මාණය කිරීමේ අටියෙනි...

ඉගෙන ගන්නට ඉගෙන ගන්න.

මිනිසුන් වූ අපට ජීවිතයේ ඉගෙන ගන්නට බොහෝ දේ ඇත.බහ තෝරන වියේ සිට මරණ මංචකය දක්වා ම අපි බොහෝ දේ ඉගෙන ගන්නෙමු.මෙහි ඉගෙනීම යනුවෙන් මා අදහස් කරන්...