Wednesday, June 6, 2018

මනසින් තරුණ වීම

අපි කවුරුත් හැඩට ඉන්නට කැමැත්තෙමු.හම සුදු කරගන්නට,ලප වසාගන්නට පමණක් නොව කෙස් ගස් හිටවන්නට පවා අද විවිධ  උපායමාර්ග බිහි වී ඇත.මේ සෑම ක්‍රමවේදයකින් ම මිනිසා අපේක්ෂා කරනුයේ බාහිරින්  තාරුණ්‍යය සදාකල්හි ම පවත්වා ගැනීම ය.සාමාන්‍ය වේතනයක් ලබා පවුලක් නඩත්තු කරන මනුෂ්‍යයකුට ජීවිත කාලය පුරා හරි හම්බ කළ දෙයින් සැත්කමක් කොට තාරුණ්‍යය රැක ගත හැක.එහෙත් එහි සැබෑ ප්‍රතිඵලයක් ඇත් ද?බාහිර ස්වරූපය තරුණ  වුවද, ඔබගේ අභ්‍යන්තරය ජරා ජීර්ණ වී ගොස් ඇත්නම් එහි ඇති ඵලය කිම ද?අභ්‍යන්තරයේ තාරුණ්‍යය රැකේ නම් බාහිරින් ඔබ කොතෙක් මහලු වුව ද කම් නැත.භෞතික වශයෙන් දිරා යාම ලෝක ස්වභාවයයි.එහෙත් ඇතුළාන්තය  මහලු වන්නේ නම් එයට වග කිව යුත්තා ඔබ ම ය.අභ්‍යන්තරික වශයෙන් යෞවනයෙකු වීමට පහසු මගක් ඇත.ඒ මග ඉපැයුමකි.ආයෝජනයකි.
කුමක් ද ඒ මග?
ඉගෙනීම...
ඉගෙනීමට වයසක් නැත.ඉගෙන ගන්නා තැනැත්තාට වයස ගතවෙනවා දැනෙන්නෙත් නැත.පොතපතින් ,ගුරුවරයෙකුගෙන් හෝ ජීවිත අත්දැකීමෙන් බොහෝ දේ ඉගෙන ගන්නා තැනැත්තා සදාකල්හි ම යෞවනෝදයෙහි ජීවත් වෙයි.ලතින් ඇමරිකානු ප්‍රමුඛ ලේඛිකාවක වන ඉසබෙල් අයියන්දේ ජීවිත අත්දැකීම් ඔස්සේ නව නිර්මාණ බිහි කළ තැනැත්තියකි.ඈ පතපොතට වඩා ජීවිතයෙන් බොහෝ දෑ උගත් තැනැත්තියකි.ඈ සිය ප්‍රථම නවකතාව වන ‘ද හවුස් ඔෆ් ස්පිරිට්ස්’ ලියන්නේ වයස අවුරුදු හතළිහේදී  පමණ ය.ගිලන් ව මියැදෙන්නට සිටි තම සීයාට ලියමනක් ලෙස ලියූ එම දීර්ඝ ලේඛනය පසු කලෙක අග්‍රගණ්‍ය නවකතාවක් ලෙස ප්‍රකට විය.අත්දැකීම් මගින් ඉගෙන ගන්නා ඇතැම් දේ පතපොත කියවා ලැබිය නොහැක.වයසින් මුහුකුරා පරිණත වීම ඉගෙනීමට බාධාවක් නොකර ගත යුතු ය.කොතැන කෙසේ කවරෙකුගෙන් ඉගෙන ගත් නමුත් අප විමසිය යුත්තේ අප ඉගෙන ගන්නේ මොනවාද යන්නයි.අප ජීවත් වන්නේ ඉතා කෙටි කාලයකි.හිස් මිනිසෙකු විලස මියැදීමට වඩා පරිපූර්ණ මිනිසෙකු ලෙස මිය යාම කෙතරම් නම් අගනේ ද..
ඉගෙනුම නවතන ඕනෑම කෙනෙකු මහලු අයෙකි.නොනවත්වා ම ඉගෙන ගන්නා තැනැත්තාගේ තාරුණ්‍යය රැකේ.අනගි වන්නේ මනසින් තරුණ වීමයි.
A person who stops learning is old and who keeps learning stays young. The greatest thing is to keep the mind young
(හෙන්රි ෆෝර්ඩ්ගේ ඉගෙනුම පිළිබඳ සුප්‍රකට කියමන වස්තුවිෂය කරගනිමින් ලියැවුණු සටහනකි.)


6 comments:

ඉගෙන ගන්නට ඉගෙන ගන්න.

මිනිසුන් වූ අපට ජීවිතයේ ඉගෙන ගන්නට බොහෝ දේ ඇත.බහ තෝරන වියේ සිට මරණ මංචකය දක්වා ම අපි බොහෝ දේ ඉගෙන ගන්නෙමු.මෙහි ඉගෙනීම යනුවෙන් මා අදහස් කරන්...