එදිනෙදා නෙත ගැටෙන ගද්‍ය පද්‍ය නිර්මාණයන්හි බස කෙසේ හැසිරවිය යුතු ද,එය නිවැරදි විය යුත්තේ කෙසේ ද යන්න බොහෝ ලිපිවල අඩුවක් නැතිව දක්වන බව කිව මනා ය.නිර්මාණකරණයේ දී (වෙසෙසින් ම කාව්‍යකරණයේදී)උපයුක්ත භාෂාව පිළිබඳ ශාස්ත්‍රීය ලේඛන කොතෙක් ඇතත්,කවි ලියන්නෝ ඒවා ලඝු කොට සලකති.වෙදැදුරන් කොතෙක් සිටිය ද රටක ලෙඩුන්ගේ අඩුවක් නැත්තා සේ ම භාෂා ප්රාමාණිකයන් කොතෙක් සිටිය ද කවි බස ගිලන් ව ඇත.එක්කෝ වෛද්‍යවරු සක්‍රීය විය යුත්තෝ ය.නැතහොත් රෝගීහූ තම රෝගීබව හඳුනා ගත යුත්තෝ ය.කවි බස ගැන මේ කෙටි සටහන තබන්නේ එකී පරමාර්ථයෙනි.
භාෂාව අවියකි.අයෙකුගේ හදවත පසාරු කොට දමන්නට වුව ද එය ට ඇත්තේ අසහාය ශක්තියකි.කවි බස ඊටත් වඩා බලවත් ය.කවියෙන් කෙනෙකුගේ හදවත පණ ලබයි;තවකෙකුගේ හදවත මිය යයි.එනයින් ගත් කළ බසට පණ ඇත.අභෞතික,විඥානගෝචර බලයක් භාෂාවට ඇති බව කෙනෙකු පැවසුවහොත් එහි ද වරදක් නැත.
කවි බස නොහඳුනන්නට බලපාන මූල සාධකය "කවිය" හඳුනා නොගැනීමයි.හුදු වචන පෙළක් ගැළපූ පමණකින් එය කවියක් යැයි කියන්නට පෙළඹෙන නූතන කවියෙකුට අනුව මෙම සටහන ද කවියකි.එහෙත් එය එසේ නොවේ.පළමු ව කවියා 'කවිය' යනු කුමක්දැයි වටහා ගත යුතු ය.
කාව්‍ය,නාටක,ගායන ආදියෙහි ප්‍රාරම්භය සොයා ගියහොත් එය මානව ඉතිහාසයේ ආගමික හෝ අභිචාරාත්මක විශ්වාස සමඟ බැඳී ඇති බවට සාධක ඇත.ආගමික සාහිත්‍යය නූතන කවියෙකුට වුවද අධ්‍යයනය ප්රවේශයකි.
"හංසාදිච්චපථේ යන්ති – ආකාසේ යන්ති ඉද්ධියා
නිය්යන්ති ධීරා ලෝකම්හා - ජිත්වා මාරං සවාහිනිං"
(හංසයෝ අහසේ යත්.යෝගීහු ඍද්ධියෙන් යත්.නුවණැත්තෝ සේනාව සහිත මාරයා පරදා ලෝකයෙන් නික්ම යත්)
මෙය බැලූ බැල්මට ගාථාවකි.එහෙත් එය ඥානයේ ප්‍රතිභාව සියල්ලට ම වඩා අගනා බව කියන කාව්‍යයකි.මට හැගෙන ලෙස බුද්ධිමය අනුභූතියක් ඔස්සේ එය නිබන්ධිත ය.නිරංජන් ගුරුගේ නම් කවියා ලියූ පහත කවිය ,පෙර උපුටා දැක්වූ ගාථාවේ දිගුවක් බව හැඟේ.
"කුසල අකුසල බරිත වන සිත
වෙනස් වී ගොස් බවෙන් බවයට
නිමල සුදු නෙළුමක් පරිදි යස
පිපේවා සංසාර වැව මත"
(ධ්‍යාන:තුන්වන වෙළුම-2016-4 )
එහෙයින් සියල්ලට පළමුව කවිය හඳුනා ගත යුතු ය.කවි බස පෝෂණය වන්නේ එවිට ය.
ෆේස්බුක් කවිපිටුවල අප දකින ඇතැම් කවියක ,කාව්‍යමය ගුණය මුක්ත වී ඇත්තේ භාෂාවේ අඩුලුහුඬුකම් නිසා ය.සඳැස් නිර්මාණවල එළිවැට ගැන සිතා ඇතැමෙක් තම අභිමතය අනුව පද බෙදති.අක්ෂර වින්‍යාසය ද තම සිතැඟි පරිද්දෙනි.විකල්ප ප්‍රපංච සොයා ගොස් නිර්මාණකරණයේ යෙදෙන කවියෝ මේ පිළිබඳ තවත් සිය අවධානය යොමු කළ යුතු වෙති.ඔවුන්ගේ ප්‍රතිභාව ඉන් පරිපූර්ණ වනු ඇත."මලානික"යන වදන සළකා බලන්න.ඇතැමෙක් එය මූර්ධජ ළ යොදා ලියති.එය සාවද්‍ය වේ."මළා නික" හෝ "මලා නික" යනුවෙන් අනවශ්‍ය වදන් බෙදීම් සිදුකොට ලියා ඇති අවස්ථා ද එමට ය.සුදක්ෂ කවියෙකුගේ වුවද විදග්ධභාවය සුන් කර දමන්නට කවි බස කගපතක් වන බවට මෙය කදිම නිදර්ශනයකි.කඩුව ඇත්තේ සියතින් ගෙල සිඳගන්නට නොවන බව මට සිතේ.නව්‍ය කවියෙකුට මෙය සම්ප්රදාය ගුරු කොට ගත් හණමිටිකරුවෙකුගේ සටහනකැයි විවේචනය කිරීමට ද අයිතියක් ඇත.
සාහිත්‍යය සමාජයේ "කවිබස"ගැන ඇති කතිකාවත ප්‍රතිනිර්මාණය කිරීමේ අටියෙනි...

A lipiyen karunu hodata kiyala tiyanava
ReplyDeleteThank you kavishan
DeleteKarunu mana lesa vivaranayata lak karala thyenawa.Jaya wewa !!!
ReplyDeleteIsthuthi akke
DeleteElama
ReplyDelete👌👆
DeleteNiyamai
ReplyDelete👌
Deleteඅද කාලේ මෙවැනි දැ ඇසිමටත් කියවිමටත් ඇත්තේ ඉතාම අල්ප ඉඩකඩකී.යලි අවර්ජනය කර දුන් ඔබට ස්තුතිය පුදකරමී.
ReplyDeleteස්තුතියි හරිත මිතුරා 😊👌
DeleteGreat idea
ReplyDeletegood article...
ReplyDelete