Monday, September 3, 2018

ඉගෙන ගන්නට ඉගෙන ගන්න.


මිනිසුන් වූ අපට ජීවිතයේ ඉගෙන ගන්නට බොහෝ දේ ඇත.බහ තෝරන වියේ සිට මරණ මංචකය දක්වා ම අපි බොහෝ දේ ඉගෙන ගන්නෙමු.මෙහි ඉගෙනීම යනුවෙන් මා අදහස් කරන්නේ හුදු පතපොතින් කරන ඉගෙනිම ම නොව,එය අභිබවා ගිය පරිපූර්ණ ඉගෙනීමකි.කාල දේස පරතරයක් නොතකා උතුම්  දෑ ජීවිතයට ග්‍රහණය කර ගැනීමත්,සමාජය සමඟ සුසංයෝගී ව ජීවත් වීමත් සැබෑ ඉගෙනීමයි.
තාරුණ්‍යය ජීවිතයේ හොඳ ම කාලයයි.ඒ වසත් සමය ගෙවී ගිය පසු එය නැවත උදා නොවනු ඇත.ලෞකික වශයෙන් ලෝකය විනිවිද දකින්නට මෙන් ම අධ්‍යාත්මය සුපහන් කරන්නට ද උගත යුත්තේ මේ වසන්තයේදී ය.ඉගෙන ගන්නට හපන්කමක් නැතැයි ඇතැම් දෙමව්පියෝ දරුවන්ට මැසිවිලි නගති.එහෙත් අභාග්‍යයකට මෙන් ඔවුන් ඉගෙන ගන්නට මැලි වන්නේ, ඔවුන් මුග්ධයින් නිසා නොවෙයි.ඔවුන් කවර ද ඉගෙන ගන්නට  ඉගෙන ගෙන නොමැති බව පෙනේ.ඔබ තවමත් සිතන්නේ ඔබ ඉගෙනීමට දක්ෂතාවයක් නොමැති අඥානයෙක් කියා ද.? එසේ නම් මා ඔබට මන්ත්‍රයක් කියා දෙමි.නිතර මෙනෙහි කොට නිතර ක්‍රියාත්මක කිරීම තුළිමෙම මන්ත්‍රය ඵල දරනු ඇත.
”ඔබ ඔබ කෙරෙහි යහපත් විශ්වාසයක් තබන්න.Have a good trust in your self.”
පතපොත ඉකමවා ගිය සමාජ දැනුම පවා ඔබට නොබියව ග්‍රහණය කරගත යුතු නම් එම විශ්වාසය ගොඩනගා ගත යුතු ය.විභාග මූලික ඉගෙනීමට වුවද මෙම මන්ත්‍රය එක ලෙස ම අදාළ වේ.
සුප්‍රකට රංගවේදියෙකු වූ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් වරක් මෙසේ සිය කුඩා කල උගත් පාසලේ දරුවන් අමතා කළ කතාවක සාරාංශය මෙහිදී ලියා තබනු කැමැත්තෙමි.
“ආදරණීය දරුවනි, ඔබ ඉගෙන ලබන තැන පළිඟු මැදුරක් ද,කටු මැටි පැල්පතක් ද යනුවෙන් නොවිමසා එය ඔබට ඉගෙන ගත හැකි තැනක්ද යනුවෙන් පමණක් විමසන්න.ඔබේ ගුරුවරුන් කෙබඳු අයදැයි නොවිමසා ඔවුන් තමන්ට උගන්වන්නේ ද යනුවෙන් පමණක් විමසන්න.මා යමක් ඉගෙන ගන්නේ ද,මා උගත් දෙයින් මට පලක් වන්නේ ද,මා උගත් දෙයින් මා සිටිනා තැන වෙනස් කළ හැකි වේද යනුවෙන් නිතර  විමසන්න.”
ඔබ අප අතර කෙරෙන මේ කතාබහ මඟින් වඩාත් යහපත් මනුෂ්‍යත්වය සපිරි ලෝකයක් බිහිවන්නේ කවර දා ද,එදාට මේ ඉගෙනීම ඵල දරනු ඇත.ඉගෙන ගන්නට ඉගෙන ගත යුත්තේ ඒ ඵලය නෙළා ගැනීම පිණිස ය.
ඉගෙන ගන්නට
ඉගෙන ගන්න..
එය අවැසි වන්නේ
සුන්දර ලොවක් තනන්නට ය.
එවිට,
ඔබ මිය ගිය මුත්,
ඔබේ නෙත්වලින් සුවහසක් මිනිසුන්
ලෝකය දකිනු ඇත.

Monday, July 30, 2018

අලුත් ඇසකින් ලෝකය දෙස බැලීම

ලෝකය දෙස බැලිය යුත්තේ කෙසේ ද? එය විමසිය යුත්තේ කෙසේ ද? එය අත්විදිය යුත්තේ කෙසේ ද? ප්‍රශ්නර්ථයන් කිහිපයක් ඔබ මා අභිමුව ඇත. ලෝකය ශාස්ත්‍ර ඥාණ සම්හරයකින් සැදුම්ලත්  එකකි. විද්‍යව තාක්ෂණය  මෙන්ම සමාජ ශස්ත්‍රිය දැනුමින් ද ලෝකයේ අඩුවක්  නැත්තේ  ය.  එහෙත් ගැටලුව නම්  හුදු ශාස්ත්‍රිය ඥාණයෙන් පමණක් ලෝකය  දැකිය  නො හැකි වීමයි.  ශාස්ත්‍රය ප්‍රගුණ කළ ඇතැමෙකුට වඩා  එවැන්නක්  ප්‍රගුණ නොකළ ඇතැමෙක් සමජයේ පූර්වාදර්ශී මිනිසුන්  ලෙස  ඉස්මතු වන්නේ  ඒ නිසා ය. එහෙයින් නව දැක්මකින් හා  කාලානුරූපී  චින්තනයක් ඔස්සේ ලෝකය දැකිය  යුතු ය.
සමාජය නව දිශානතියකට යොමු කළ සෑම මිනිසෙක් ම ලෝකය දෙස බැලුවේ නවතාවයකිනි. දේශපාලනය,අර්ථිකය පමණක් නොව අද්‍යාත්මික දර්ශන මාර්ගයන්හි පාවා වැඩි පිළිගැනීමට ලක් වූ සංකල්ප  බිහි කෙරුවෝ අන් කවරෙකුත් නොව නව දැක්මක් සහිත මිනිසුන්‍ ය. අතැම් විට  ප්‍රාරම්භයේදී එවැනි මිනිසුන්  ගැරැහුමට ලක් වන්නෝ ය. එය සමජ යථාර්ථයකි. ජී.බී. සේනානායකයන් නිසදැස්  කවිය මෙරට සමාජයට හදුන්වා දුන් කාලයේ බොහෝ දෙනෙක් එය ප්‍රතික්ෂේප කළහ.  ඔහු කවිය කෙලෙසන්නේ යැයි ඇතම්හු උපකල්පනය කළ හ. එහෙත් නිසදැස් කවිය පිළිබද වත්මන් සමජයේ ආකල්පය එම යුගයට සාපේක්ෂව යහපත් තත්ත්වයක පවතී. සිංහල පරිවර්තන නවකතා අතුරින් බාල මහලු කාගේත් අවදානයට ලක් වූ  ජපන් ජාතික ලේඛිකවක වූ ටෙට්සුකෝ කුරෙයානගී  මහත්මිය විසින් සම්පදනය කරන ලදුව හරි පුදුම ඉස්කෝලෙ නමින් සිංහලයට පරිවර්තනය කළ පොතක් ඇත.දඟකාර ජපන් දැරියක වූ ටොට්ටෝ චං සමවයසේ සෙසු දරුවන්ට වඩා වෙනස් ය.ඈ කළ කී සෑම දෙයක් ම වෙනස් ය.ඇය කුඩා කල සිට ම ලෝකය දෙස වෙනස් ඇසකින් දකින්නට හුරු වූවා ය.සමස්ත පාසල් අධ්‍යාපන ක්‍රමය තුළින් පීඩාවට පත් වූ දරුවන් කෙරෙහි අප්‍රමාණ ආදරයක් පළ කළ සොසාකු කොබයාෂි නම් ගුරුතුමා ද මෙම කතාව තුළ හමුවන සුවිශේෂී තැනැත්තෙකි.කොබයාෂි ගුරුතුමා නොසිටින්නට ටෙට්සුකෝ කුරෙයානගී (කලක් ටොට්ටෝ චං ලෙස සිටි කටකාර දැරිය)නම් දක්ෂ ලේඛිකාවක බිහි නොවන්නට ඉඩ තිබුණි
ආපන ශාලා ආවතේවකරුවෙකු ලෙස දේවරූප සුරුවම් පාට කරන අත් උදව්කරුවෙකු ලෙස මෙන් ම පාන් පුලුස්සන්නෙකු ලෙස කටයුතු කළ ඇලෙක්සේයි පෙෂ්කොව්ගේ නව සිතිවිලි ධාරාවත් සමාජය පිළිබඳ ඔහු කළ ගවේෂණයත් පසුකලකදී ඔහු දක්ෂ ලේඛකයකු බවට පත් කළේ ය.ඒ අන් කවරෙකුත් නොව රුසියානු මහා ගත්කරු මක්සිම් ගෝර්කි ය.සමාජ සත්තා යථාර්ථවාදී සාහිත්‍යයේ ආදි කර්තෘවරයා වූ ඔහු ලෝකය දකින්නට වෙනස් දෘෂ්ටියක් ඇති කර ගත් අයෙකු බව පොදු පිළිගැනීමයි.
අප ලෝකය දෙස අලුත් ඇසකින් බැලිය යුත්තේ අපගේ යහපත උදෙසා පමණක් නොව මානව වර්ගයාගේ ම යහපත උදෙසා ය.මනුෂ්‍යයෙකු ලෙස අප ලැබූ ජීවිතය වඩාත් අර්ථවත් වන්නේ එවිටය.තම පවුලට,ගමට,රටට,ලෝකයට යහපත සැලසූ සෑම මනුෂ්‍යයෙකු පිටුපස ම තිබූ නව දැක්ම අප ද අපට අනන්‍ය ලෙස ගොඩනගා ගත යුතු ය.නව චින්තනයක් ඔස්සේ කටයුතු කළ ආදි ලාංකිකයෝ මහා වැව් අමුණු,දාගැබ් බඳවා මෙසිරිලක බතින් බුලතින් ආඪ්‍ය කළෝ ය.නව චින්තනය වෙනුවට සෙස්සන්ගේ චින්තනය බලෙන් පවරා ගැනීමට යාම නිසා ජාතියක් ලෙස අප අන්ත අසරණභාවයකට පත් වීමු.නව දැක්මකින් ඉදිරියට යන්නට දැන් පස් මහා බැලුම් බල බලා සිටින්නට කාලයක් නැත.
අලුත් ඇසකින් ලෝකය දකින්නාගේ ඇස් සදහට ම පියවී ගිය ද ඔහුගේ ඇස් තුළින් සුවහසක් මිනිසුන් ලෝකය දකින බව අප සිහි තබා ගත යුතු ය.

නගර සංවර්ධනය සඳහා මෙරට පූර්ව බෞද්ධ යුගයේ සුසමාදර්ශ


සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාවේ භෞතික සංවර්ධනය උදෙසා විවිධ  රජයන් මගින් විවිධ සංවර්ධන ව්‍යාපෘති දියත් කොට ඇත.මෙම සංවර්ධන ව්‍යාපෘති අතර නගර සැලසුම්කරණයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.ශ්‍රී ලාංකිකයන් වූ අපට නගර සැලසුම්කරණය නුහුරු නුපුරුදු හෝ ආගන්තුක විෂය පථයක් නොවේ.ලංකාවේ විධිමත් නගර සැලසුම්කරණය පිළිබඳ වංශකතාදියෙහි මුලින්ම සඳහන් වන්නේ පණ්ඩුකාභය රාජ්‍ය සමයට අදාළවයි.
මව්පිය දෙපාර්ශවයේම උරුමයෙන් ලක්දිව සිහසුනට උරුමකම් කියූ පණ්ඩුකාභය රජතුමා එතෙක් ගමක් වශයෙන් පැවැති අනුරාධ ග්‍රාමය ,පුරවරයක්(නගරයක්) බවට පත් කළේ ය.මුල් වරට ලංකාවේ ග්‍රාම සීමා ලකුණු කිරීමද මෙකල සිදු වූ බව මහාවංසය දක්වයි.ජනතාවගේ සුබසිද්ධිය තකා සුඛෝපභෝගි නගරයක් ලෙස අනුරාධපුරය සංවර්ධනය කිරීමට මෙතුමා පියවර ගෙන ඇත.
නගරයක වැසියන් සඳහා ජල  මූලාශ්‍රයක ඇති අවශ්‍යතාවය අමුතුවෙන් කිව යුත්තක් නොවෙයි.පානීය සහ සෙසු ජල අවශ්‍යතා අවධානයට ගනිමින් ජය වැව, අභය වැව සහ ගාමිණි වැව මෙතුමා විසින් ඉදි කොට ඇත.ලංකා  ඉතිහාසයේ මුල් වරට  වාරි කර්මාන්තයට අවැසි රාජ්‍ය අනුග්‍රහය ලැබුණේ මෙකල ය.වතුර බැසයන කාණු පද්ධති මෙන් ම ඇළ මාර්ග ද මෙතුමා විධිමත් ලෙස ගොඩ නැගූ බව වංශකතා සාහිත්‍යය තුළ දැක්වේ. “සරං තං ච ඛණාපෙත්වා කාරාපේසි බහූදකං-ජයේ ජලස්ස ගාහේන ජය වාපිතී ආහුතං”(මහාවංසය) පෙර කිසිදු  පාලකයෙකුගේ පූර්වාදර්ශයක් නොතිබුණ නමුත් මෙතුමා සිදුකළ දැවැන්ත නගර නිර්මාණය පූර්ව බෞද්ධ යුගයේ මෙරට ඉතිහාසයේ ඇගයීමට ලක්විය යුතු සංධිස්ථානයකි.
ජනාවාස ඉදිකිරීමේ දී කාලීන සමාජ සැකැස්ම සලකා මිනිසුන් පදිංචි කොට ඇත.කුලීන ජනයාට එක් ප්‍රදේශයක් ද,කුලහීන ජනයාට තවත් ප්‍රදේශයක් ද වෙන් ව තිබුණි.ලංකාවේ ප්‍රධාන ආර්ථික මර්මස්ථාන පිහිටි කොළඹ නගරයට දිනකට පිවිසෙන දස දහස් ජනතාව අතින් කොළඹට මුදා හැරෙන කැලි කසළ අපද්‍රව්‍ය ප්‍රමාණය නගර කළමනාකරණයට මහත් බාධකයකි.එකල ද අගනගරය වශයෙන් අනුරාධපුරය සංවර්ධනය වූ පසු බොහෝ ජනයා නුවරට පිවිසෙන්නට ඇති බව අපට අනුමාන කළ හැක.දිනපතා නගරයේ එක් රැස් වන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහාත්,නගරය පිරිසිදු ව පවත්වා ගැනීමටත් චණ්ඩාල ජනතාව යෙදවීමට පණ්ඩුකාභය රජු කටයුතු කොට ඇත.”පඤ්ච සතානි චණ්ඩාල පුරිසේ පුරසෝධකේ” යන මහාවංස ප්‍රකාශය මෙම කියමන සත්‍යයක් බව අනාවරණය කරයි.
ජනතාවගේ ආගමික කටයුතු සඳහා නගරාශ්‍රිතව ආගමික  ස්ථාන  ස්ථාපිත කරවීම ද සුවිශේෂී කාරණයකි.නගරවැසියන්ගේ ආධ්‍යාත්මික සුවය මෙන් ම මානසික සන්සිඳවීම සඳහා ද නගරයක ආගමික ස්ථාන බිහිකිරීම අදටද සිදු කෙරේ.හින්දු ආගමට මෙන්ම බ්‍රාහ්මණ ආගමටද අනුග්‍රහය දක්වා ඇති රජු සෙසු ජන විශ්වාසයන් ද ගර්හාවට ලක්කොට නැත.මහාවංසගත තොරතුරු අනුව නගරයේ නැගෙනහිර දෙසින් කාලවේල යකුට ද,අභය වැව සමීපයේ චිත්තරාජ යකුට ද දේවාල ඉදි කොට දී ඇත.නගරයක ජීවත් වන සෑම ජනකොටසක් කෙරෙහි ම අවධානය දීමට නගර සැලසුම්කරණයේ දී රජු අවධානය යොමු කොට ඇත.  
භෞතික වශයෙන් නගර සංවර්ධනය කළ පමණකින් නගරයක පරිපාලනය ක්‍රමවත් නොවනු ඇත.පණ්ඩුකාභය රජු සිය නගරයේ පරිපාලනය ද පෙර නොවූ විරූ අන්දමින් ප්‍රතිසංවිධානය  කරවීය.තම වැඩිමල් මාමා වූ අභයට රෑ රජකම(රත්ති රජ්ජ) සහ නගර ගුත්තික තනතුරු පවරා දී ඇත. (එය නූතන නගරාධිපති ධූරයට සාම්‍යතාවක් ඇති බව සිතිය හැක.)”රත්ති රජ්ජං අදා තස්ස අහූ නගර ගුත්තිකෝ-තදූපාදාය නගරේ අහූ නගර ගුත්තිකා”(මහාවංසය) වසර හැත්තෑවක් තරම් දීර්ඝ කාලයක් රාජ්‍ය පාලනය කිරීමට පණ්ඩුකාභය රජුට ජනතා සහයෝගය ලැබී ඇත.ජන හිතකාමී නගර සැලසුම්කරණය මෙයට එක් ප්‍රබල හේතුවක් වන්නට ඇත.
බස්නාහිර පළාත සැලසුම්සහගත මහ නගරයක් බවට පත් කරන මෙගාපොලිස් වැනි දැවැන්ත ව්‍යාපෘති දැන් මෙරට ආරම්භ වී ඇත.සෑම ජන කොට්ඨාසක් ම,සෑම පාන්තිකයෙක් ම කෙරෙහි අවදානය යොමු කරමින් මෙවැනි ව්‍යාපෘති සිදු කරන්නේ නම් එය අනිවාර්යයෙන් ම මහජනයාගේ ප්‍රශංසාවට ලක්වනු ඇත;රටේ තිරසාර සංවර්ධනයට පිටුබලයක් වනු ඇත.

Saturday, July 28, 2018

සමාජ පැවැත්ම හා සංරක්ෂණය උදෙසා බුදුදහමේ ඉගැන්වීම්


 මිනිසා හුදෙකලා සත්ත්වයෙක් නොවන  බැවින් මිනිසාගේ සමාජීය  සම්බන්ධතා   ප්‍රශ්න කිරීම උගහට වේ. එම නිසා ම මනුෂ්‍යයා සංකීර්ණ සමාජ ක්‍රියාවලියක් ගොඩනගාගෙන ඇත. එය විධිමත්ව පවත්වා ගැනීම පිණිස අවශ්‍ය ආචාර ධර්මීය පදනම කුමක්දැයි  සොයා බැලීමෙන් පුද්ගලයාත්,සමාජයත්  අතර සම්බන්ධතාවය මනාව වටහා ගත හැකි ය.
මානව සමාජය තුළ ගොඩනැගෙන්නා වූ  අන්තර් සබඳතාවන් පුද්ගලයාගේ ආරක්ෂාව සඳහා උපස්ථම්භක විය යුතුය. ආර්ථික සාමාජික පසුබිම  අභිවර්ධනය කිරීමට අනුබල දිය යුතු ය.ලෞකික මෙන්ම අධ්‍යාත්මික යන දෙඅංශයේ ම  සංවර්ධනය මත ගොඩනැගෙන ස්වයංපෝෂිත  සමාජයක්  පිළිබඳව විග්‍රහයක් වශයෙන් බුදුදහම හඳුනා ගත හැක.ලෝකෝත්තර අංශයට සීමා නොවූ බුදුදහම සමාජ සංවර්ධනයට මග කියන දර්ශනයකි.සිඟාලෝවාද සූත්‍රය මෙහිලා ප්‍රබල,ප්‍රමුඛ නිදර්ශනයකි.නූතන සමාජය ඇසුරින් වුවද මෙම සූත්‍රයේ කරුණු පැහැදිලි කරගත හැකිය. සදිසා නමස්කාරය මගින් විවරණය වන්නේ සමාජයක මූලික තැනුම් ඒකකය බඳු පුද්ගලයා  කේන්ද්‍රකරගෙන අනුක්‍රමික ව  සාමාජික සම්බන්ධතා ගොඩනැගෙන ආකාරයයි. පුද්ගලයා විවිධ අවස්ථාවල භූමිකා නිරූපණය කරති.එක් එක් භූමිකාවට අනුව පුද්ගලයා හැසිරෙන්නේ වෙනස් ආකාරයෙනි.ජීවිතයේදී විවිධ අදියර පසු කරද්දි ද පුද්ගලයා ගේ ජීවන රටාව කාලානුරූපීව වෙනස් වෙන ආකාරය  නියත ධර්මතාවක් වශයෙන් හඳුනා  ගත යුතුය.මවුකුසින් මෙලොවට බිහිවන ළදරුවා පළමුව දෙමාපියන් යටතේ ද ඉන් අනතුරුව ගුරුවරුන් යටතේද ශික්ෂණය ලබන්නේ මෙකී නියත සමාජ තත්ත්වයන්ට අනුරූපව ය. සමාජ  සම්බන්ධතා විවරණය කිරීමෙහිලා  සිඟාලෝවාද සූත්‍රයෙන් ලැබෙන පිටුබලය සුවිශේෂී එකකි . කිසියම් පුද්ගලයින් පිරිසක් අතර ගොඩනැගෙන අන්තර් සබඳතාව  නොඑසේ නම් සමාජයක පදනම අර්ථ විවරණය කෙරෙන බෞද්ධ සූත්‍රයක් ලෙස එම  සූත්‍රය හඳුනා ගත හැකි ය. විවාහයෙන් පසු ව ස්වාමියා හෝ බිරිඳ  සමගින්ද, ඉන් පරිබාහිර  සාමාජික සම්බන්ධතා පවත්වන විට යහලු මිත්‍රයන් සමඟ ද, ආර්ථිකය ගොඩනැගීමේදී සේව්‍ය සේවකයන් සමඟ ද, ආගමික කටයුතුවලදී පූජකයන් සහ ගිහියන් සමඟ සමාජ සම්බන්ධතා පැවැත්වීමට සිදු වේ.   සිඟාලෝවාද සූත්‍රයෙන්  පැහැදිලි කරන්නේ එක් සාමාජිකයෙකු ඔහු වටා සිටින අනෙක් සාමාජිකයන් සමඟ අන්තර්සබඳතා  පවත්වන ආකාරයයි. සමාජය වනාහි පුද්ගලයා කේන්ද්‍ර කරගෙන ගොඩනැගෙන ආයතනයක් යන නූතන අදහස එකී බෞද්ධ සූත්‍රයෙන් සනාථ කොට ඇත.
ඒ සමාජ ආයතනය තුළ සමාජ ජීවියා සුරක්ෂිත කිරීමට අවශ්‍ය දර්ශනයත් සදාචාරයත් බෞද්ධ දර්ශනයෙන් නිර්දේශ වී ඇත. ඒ සඳහා නිදර්ශන වශයෙන් පංචශීල ප්‍රතිපදාව පෙන්වා දිය හැක.සමාජයක පැවැත්ම තහවුරු කරන්නේ එකී සමාජය ආරක්ෂාකාරී වුවහොත් පමණි. තමා වටා ගොඩනැගෙන සමාජය තම පැවැත්ම සඳහා උපකාර වන්නේ නම් ඉන් සමාජ සුරක්ෂිත බවත්  සදාචාරවත් බවත් ගොඬනැගෙනු ඇත. සාමාජිකයන් තම අන්‍යෝන්‍ය විශ්වාසය ඇතිවන ගුණධර්ම වශයෙන් සතර අගතියෙන් තොරවීම   බුදුසමයේ ඇගයීමට ලක්වන්නේ එබැවිනි.සතර අගතිය නම් ඡන්ද,ද්වේශ,බය,මෝහ යන සතරයි. යම් දෙයක් කෙරෙහි දක්වන කැමැත්ත ඡන්දයයි. මෙම ආශාව(කැමැත්ත ) හේතුවෙන්  විවිධ සමාජ විරෝධි ක්‍රියා සිදුවීමට ඉඩ ඇත. ද්වේශය, බිය හා මෝහය ද එලෙසම සමාජ හායනයට මිනිසා පොළඹයි. කිසියම් පුද්ගලයෙකු මෙම ධර්මතා ඉක්මවන්නේ නම් ගිහියෙකු වශයෙන් ඔහුගේ සාමාජික ජීවිතය සුනුවී යන  අයුරු අවපස සඳට උපමා කර දැක්වීමෙන් පැහැදිලි කරයි.
පුද්ගලයා බාහිරින් වරදට පොලඹවන සාමාජික වශයෙන් විශ්වාසය බිඳ හෙළන  දුෂ්චරිත ලෙස පරපණ නැසීම, නොදුන් දේ ගැනීම, වැරදි අයුරින් කම්සැප සෙවීම, සත්‍ය වසන් කිරීම යන කරුණු  දක්වා ඇත. ඕනෑම සමාජයක සිටින්නෙකු තුළ  පවතින සමාජ විරෝධී ප්‍රතිචාර  මෙවැනි අකුසල් තුළින් මතු වී එයි. මෙම සතර කර්ම ක්ලේශවලින් වැළකීම සමාජයේ  රැකවරණය සලසා ගැනීමෙ මාර්ගයක් වශයෙන් පැහැදිලි කර ඇත.
ලෝකයේ ප්‍රභවය,පැවැත්ම සහ විනාශය මෙන් ම පුනර්භවය ආදී සංකීර්ණ විෂය ක්ෂේත්‍රයන්හිදී බුදුසමය යථාර්ථවාදී දර්ශන මාර්ගයක් බව අද්‍යතන බොහෝ උගත්තු පෙන්වා දී ඇත.සමාජ පැවැත්ම හා සංරක්ෂණය උදෙසා බුදු දහම පෙන්වා දෙන ප්‍රායෝගික වැඩපිළිවෙළ තුළින් ඒත්තු ගැන්වෙන්නේ එහි සමාජ විද්‍යාත්මක ප්‍රපංචයන් ද අන්තර්ගත බවයි.

Friday, July 27, 2018

ප්‍රායෝගික දේශපාලනය සඳහා ජාතක කතා සාහිත්‍යයේ පිටුබලය


ජන සාහිත්‍යය පිළිබඳ හැදෑරීම් සිදු කළ අපරදිග පඬිවරු ජාතක කතා යන්න ජන ව්‍යවහාර සමූහයක් ලෙස හඳුනාගෙන ඇත.Folklore යනුවෙන් ඉංග්‍රීසියේ එන ජනශ්‍රැතිය යන විශේෂ ක්ෂේත්‍රයට බහාලිය හැකි ශ්‍රේෂ්ඨ ගණයේ නිර්මාණ සමූහයක් ලෙස ඔවුහු ජාතක කතා නිර්වචනය කළහ.ලොව ඉපැරණිතම ජනකතා සංග්‍රහය ලෙස රීස් ඩේවිඩ් පඬිතුමා ජාතක කථා හඳුන්වා දී ඇත.කෙසේ වෙතත් ජාතක කතා හුදු ජනකතා සම්ප්‍රදායක් යැයි සිතීම අනුචිත ය .එහි ඇති සමාජ සංස්කෘතික ආර්ථික හා දේශපාලන ප්‍රපංචයන් නූතන සමාජය සමඟ වුවද සැසැඳිය හැක;විවරණය කළ හැක.මෙහිදී අපගේ මූලික අවධානය යොමු වන්නේ ජාතක කතාවල ගැබ් ව ඇති දේශපාලන විවරණයන් ගෙන හැර පෑමයි.බෞද්ධ දේශපාලන දර්ශනය පාලක-පාලිත දෙපාර්ශවයේ ම අනෙයොන්‍ය  අයිතීන් සුරක්ෂිත කරන ප්‍රායෝගික දර්ශනයකි.බෞද්ධ දේශපාලන දර්ශනය මූලික වශයෙන් විග්‍රහ කර ගනු පිණිස ජාතක කතා මහඟු මූලාශ්‍රයකි.
මහා පිංගල ජාතකය වත්මන් දේශපාලන සන්දර්භය මනා ව චිත්‍රණය කරන්නකි.කෙටි කාලයකදී පාලක පක්ෂය ප්‍රතිකේෂ්ප කිරීමත්,ඔවුන්ට විරෝධී බලවේග නිර්මාණය වීමත් ලංකාව වැනි රටක සුලබ ය.පිංගල ජාතකයේ එන පිංගල රජුගේ අභාවය නගරවාසීන්ට සැණකෙළියක් විය.අධාර්මික ව රට පාලනය කරන පාලකයෝ මරණින් මතු වුවද ජනතා ගැරහුමට ලක්වෙති.අධාර්මික පාලකයින් ඉසියුම් ලෙස උපහාසයට ලක් කරන්නේ හඬා වැලපෙන දොරටුපල්ලාගේ චරිතයෙනි.ඔහු රජු මළ නිසා හඬයි.එහෙත් ඒ රජු මළ දුකට නොවේ.පිංගල රජු ප්‍රාසාදයට යන එන වාරයක් වාරයක් පාසා මෙම දොරටුපල්ලාට ටොකු ඇන ඇත.යම් හෙයකින් ඔහු නිරයට ගිය පසු යමරජුට ද එසේ ටොකු ඇන්නහොත් නැවත ඔහු ව මනුලොව හැරලනු ඇතැයි යන බියෙන් දොරටුපල්ලා හැඬූ බව ජාතකකතාකරුවා දක්වයි.හාස්‍ය රසය සමඟ ජාතකකතාකරුවා අපේක්ෂා කරන්නේ අයහපත් රාජ්‍ය පාලනයේ අනිෂ්ට විපාක කියා පෑමයි.
අසමබර තීරණවලින් මහජනයා නොමග යවන දේශපාලඥයන්ට මනා ආදර්ශ සපයන ජාතක කතාවකි,කුක්කුර ජාතකය.අපරික්ෂාරී පාලකයන් මෙන් ම ඔවුන්ට උපදෙස් දෙන අදූරදර්ශි අනුශාසකයන් ද මෙහිදී උපහාසයට ලක්කොට ඇත.රජු තමාට අනුශාසනා ලබා දුන් සුනඛයාට සේස්ත් පූජා කළ බව කතාවසානයේදී දැක්වේ.හිතවතුන්,ඤාතීන් හෝ තමාට පක්ෂ පිරිස් සුදුසුකම් නොබලා තනතුරුවල අනුයුක්ත කිරීමට වඩා සුදුස්සෙකු තෝරා එම තනතුරු ප්‍රදානය කිරීම අනර්ඝ බව කුක්කුර ජාතකයෙන් ප්‍රත්‍යක්ෂ කෙරේ.
මහා සුතසෝම ජාතකයේ එක්තරා රජෙක් තෘෂ්ණාවෙන් හොර රහසේ මිනීමස් කා රට වැනසූ පුවතක් දැක්වේ.බුදුදහමේ දැක්වෙන්නේ,පාලකයා තෘෂ්ණාවෙන් මුක්ත අයෙක් විය යුතු බවයි.දානය,ශීලය,පරිත්‍යාගය ආදි දසරාජ ධර්මයන් පාලකයන් විසින් පිළිපැදිය යුතු බව ධර්මයේ සඳහන් ය.නීතිය අවනීතිය බවට පත්කරන අදිසි දේශපාලන හස්තයන් අප කොතෙකුත් දැක ඇත.අල්ලස් ගනිමින්,පාලකයා පවා මුලා කරන ඇමතිවරුන් අදත් සමාජයේ අප්‍රමාණ ය.මහාබෝධි ජාතකය එබඳු අමාත්‍යවරුන් පිළිබඳ හෙළි කරන ජාතක කතාවකි.
ඉතා දීර්ඝ වශයෙන් මෙය විමසීමට ලක් කළ හැකි මාතෘකාවකි.සාම ජාතකය,නිග්‍රෝධමිග ජාතකය,කුම්මාස පිණ්ඩ ජාතකය,රාජෝවාදී ජාතකය,මහා කපි ජාතකය වැනි බොහෝ ජාතක කතා ඇසුරින් නූතන දේශපාලනය කෙරෙහි ජාතක කතා සාහිත්‍යයේ ප්‍රායෝගික ආදේශනය වටහා ගත හැක.අවාසනාව නම් රාජ්‍ය තන්ත්‍රය මෙහෙයවන කිසිඳු පක්ෂ විපක්ෂ දේශපාලඥයකුගේ අවධානය මෙබඳු වියෂ පථයකට යොමු නොවීමයි.ඉතිහාසයේ කොතැනක හෝ එබඳු පාලකයන් සිටියා නම් අද අපට සුඛිත මුදිත රටක් ශේෂ වන්න්ට ඉඩ තිබුණි.


Thursday, July 26, 2018

ඇගයුම...

  කාලය ගතවන සේයාවක්වත් මට නොදැනේ.ඒ තාත්තා සමඟ කතා බහ කරමින් ඔහු ගෙවත්තේ එළවලු පැළවලට වතුර දමන සැටි,පොහොර දමන සැටි  බොහෝ වෙලාවක් බලා සිටි නිසා විය යුතු ය.
අපේ සීයා තරම් ගොවිතැනට පේවුණු වෙනත් කිසිම කෙනෙක් මා දැක නැත.ගෙදරටත් වඩා ඔහුගේ ජීවිතය ගත වුණේ හේනේ කුඹුරේ ය.සීයාගේ සෙවණේ හැදී වැඩුණු තාත්තා ද ගෙවත්තේ නොයෙකුත් දෑ වගා කළේ ඒ නැඹුරුව නිසා විය යුතු ය.ඔහුගේ ගෙවත්ත දැකුම්කළු ය.ඒ තරම් සරුසාර ගෙවත්තක් කොළොම්පුර ගෙන්දගම් පොළොවේ කොතැනකවත් නැතැයි මට සිතේ.
“අප්පච්චි කොළඹ ඇවිල්ලත් වවන වැඩේ නතර කළේ නෑ නේද.මට නම් හරි පුදුමයි”

“පුතා ශිෂ්‍යත්ව විභාගෙ පාස් වෙච්ච නිසා උඹ ගැන හිතලා මෙහේ පදිංචියට ආවා මිසක ගම දාලා එන්න නම් මගෙ හිතෙ යන්තමින්වත් කැමැත්තක් තිබුණෙ නෑ.ගම අතෑරියට මේ පුරුදු අතාරින්නෙ කොහොමද..? ඒක නෙමේ දැන් ඔය විභාගෙන් පස්සෙ පුතා අලුත් පන්තියකට යනවද?”

ඔවු..මේ විභාගෙ පාස් උනා ම මම 7 වසරේ..”

ඒ කීවාට තාත්තාට තේරෙන්නේ නැත.තාත්තාට අකුරු,ඉලක්කම්   බැරි ය.එහෙත් පාසලෙන් මා උගත් බොහෝ දේට වඩා ඔහුගේ ජීවන තක්සලාවෙන් මා  බොහෝ දේ උගත්තෙමි.එක් වර ම තාත්තාගේත් මගේත් කතාවට බාධා වූයේ ලියුම්කරුගේ සීනුවයි.

“අන්න ලියුම් ඇවිල්ලා”යි කියමින් මම වහා ලියුම්කරු වෙත දිව ගියෙමි.

“අප්පච්චිගෙ නමට තියෙන්නෙ.”

“මේ නහින දෙහින කාලේ මට ලියුම් එවන්නෙ කවුද.”තාත්තාගේ මුහුණේ රැඳුණු සිනාව සමඟින් ඔහු ප්‍රශ්න කළේ ය.

ලියුම් කවරය ගලවා මම ලියුම කියවන්නට පටන් ගත්තෙමි.එහි සඳහන් ව තිබුණේ කෘෂිකර්ම අමාත්‍යාංශය පෞද්ගලික සංවිධානයක් සමඟ එක් ව පවත්වන ආදර්ශ ගෙවතු තේරීමේ තරඟයකට, අපේ ගෙවත්ත ග්‍රාම නිලධාරි විසින් නිර්දේශ කර ඇති බවත් ඉන් පළාතේ හොඳම ගෙවතු 10 අතරට අපේ ගෙවත්ත තේරී ඇති බවත් ය.”

මට දැනුනු  සතුට වචනවලින් පැවසිය නොහැකි තරම් ය.තාත්තාට නම් අමුතු සතුටක් පේන්නට තිබුණේ නැත.”

“තෑගි බෝග ගන්න නෙමෙයිනෙ පුතේ මේව කරන්නෙ.ලැබුණොත් ලැබුණ දෙයක් ගන්නවා.”

“ඉතින් අප්පච්චිමනෙ කියන්නෙ වවන්නෝ-දිනන්නෝ කියලා..මේ අහන්නකො අප්පච්චි,ඊළඟ සතියෙ නිලධාරීන් කිහිප දෙනෙක් එනවලු අවසන් වටයට තේරුණු ගෙවතු බලන්න.කෘෂිකර්ම ඇමතිතුමත් එනවලු තෑගි දෙන උත්සවේට.”

ඊට දින දෙක තුනකට පසු අපේ ගෙවත්ත නරඹන්නට කිහිපදෙනක් පැමිණිය හ.අවසන් ප්‍රතිඵලය උත්සව දිනයේදී ලබා දෙන බැවින් එදිනට උත්සවයට  සහභාගී වන මෙන් ඔවුහූ  අපට ඇරයුම් කළහ.

උත්සව දිනය ද එළැඹුණි.තාත්තාත් මමත් කඩිමුඩියේ ම උත්සවයට යෑමට සූදානම් වුණෙමු.දලුගම්න් බසයට නැගගත් අපි පැයක් ගතවන්නට  පෙර උත්සව ශාලාවට ළඟා වුණෙමු.අපේ තාත්තා වැනි ගොවි මහත්තුරු ශාලාවට ම හිටියේ දෙතුන් දෙනෙකි. ඉතුරු සියලු දෙනා  ටයි කෝට් හැඳි මහත්වරුන්‍ ය;කෙටි සායවල් හැඳි නෝනලා ය. 

“මේ පළාතේ මිනිස්සු හරියකට වවන්න කරන්න දන්න අය නෙවෙයි.ඔය කලිසම් කෝට් ඇඳන් ඉන්න අය කොහොමද තාත්තේ හේන් කුඹුරු වවන්නෙ..?”

මගේ පැනයට තාත්තා කාටත් නොඇසෙන්න සිනාසුණේ ය.

“එහෙම කියන්න එපා පුතේ,ඔය දැන් අපි ජීවත් වෙන දලුගමත් ඉස්සර බතබුලතින් සරු ගමක්ලුනෙ.අර අපේ ගෙවල් ළඟ ඉන්න ඉස්කෝලෙ මහත්තයා තමයි මට ඔය කතන්දරේ කිව්වෙ.”

උත්සවය පටන් ගන්නේ ඇමතිතුමා පැමිණි පසු ය.මම තාත්තගෙන් ඒ කතන්දරය අසා දැනගත්තෙමි.

“බොහොම ඉස්සර කාලෙ,ඒ කියන්නෙ කැලණිතිස්ස රජ්ජුරුවෝ රජකම් කරන කාලෙ කැලණි පුරවරේ ම බොහොම සරුසාරෙට තිබ්බලු.රජ්ජුරුවන්ගෙ නොහොබිනා වැඩ නිසා දෙවියො කෝප වෙලා මහ මුහුද ගොඩගලලා මහා විනාසයක් උනානෙ.සමහරු නම් කියන්නෙ  මේ මහා ජල කඳට කැලණිතිස්ස රජ්ජුරුවොත් බිලි වුණා කියලා.ඒත් සමහරු නම් කියන්නෙ රජ්ජුරුවෝ මහමුහුදට බිලි වුණේ නෑ කියලා.ඉස්කෝලෙ මහත්තයා කියන්නෙ නම් ඉතිහාසෙ ලියලා තියෙන විදියට රජ්ජුරුවෝ මහමුහුදට බිලි වුණා කියලා.මෙවා ඉතින් මිනිස්සු කාලයක් පුරා පවත්වාගෙන ආපු දේවල්නෙ.ඇත්ත නැත්ත හොයනවට වඩා මේ කතාවල ගන්න මොන තරම් ආදර්ශ තියද...

මේ මහා විපත්තියෙන් පස්සේ තමන් කරපු කියපු දේවල් ගැන රජ්ජුරුවො බොහොම කණගාටුවට පත් වුණා.ඒ කාලෙ වැඩ උන්නු හාමුදුරුවරු රජ්ජුරුවන්ට උපදෙස් දුන්නලු රජුටත්,රටටත් මතුවට විපතක් නොවෙන්න දන් පින් කරලා දෙවියන්ටත් ඒ පින් අනුමෝදන් කරන්න කියලා.”

“ඉතින් රජ්ජුරුවෝ එහෙම කළා ද” මම නොඉවසිල්ලෙන් තාත්තාගෙන් ප්‍රශ්න කළෙමි.

“ඔවු පුතේ..රජ්ජුරුවෝ බොහොම පින් දහම් රැස් කළා.හැබැයි ටික කාලයකට පස්සෙ වැහි හිඟ කාලයක් උදා උනාලු.පෑවිල්ල එක්ක ම බුලත් වැල්වලට ලෙඩක් ඇවිත් තියෙනවා.දැන් මුළු පළාතෙ ම බුලත් වැල් සේර ම මියැදිලා.මාලිගාවෙ දාන දුන්නට ස්වාමීන් වහන්සේලාට දැහැත් විට පිළිගන්වන්න විදියක් නෑ.රජ්ජුරුවෝ රාජ පුරුෂයො යෙදෙව්වා කොහෙන්හරි බුලත් හොයන් එන්න කියලා.එක ඇමතිවරයෙක් බුලත් හොයාගෙන ම එනවා කියලා රජවාසලෙන් පිට වෙලා යනකොට වතුර කළයක් අතින් ගත්ත බොහොම දුප්පත්  මනුස්සයෙක් හම්බ වුණාලු.මේ මනුස්සයා බොහොම ආයාසයෙන් බුලත් කොටුවක් නඩත්තු කරන බව ඇමතිවරයට දැනගන්න ලැබුණා.ඉතින් ඇමතිතුමා බොහොම සන්තෝසයට පත්වෙලා රජවාසලට බුලත් අරගෙන ගියා.තමන්ගේ ඇමතිවරයාට බුලත් ලබා දුන්න මේ ධෛර්යමත් ගොවියා රජ මාළිගයට කැඳවපු රජ්ජුරුවො දලු බුලත් හමු වූ ප්‍රදේශය ගම්වරයක් විදියට  ගොවියට ම පවරලා තව තෑගි බෝග එහෙමත් දුන්නලු.එදා ඉදන් දලු බුලත් හමු වෙච්ච ගම දලුගම වුනා ලු.” 

“ දුප්පත් අපි වගේ අයත් එහෙනම් මේ පළාත්වල වගා කරලා තියෙනවා නේද අප්පච්චි..” මම සිනාසෙමින් තාත්තාට කීවෙමි.

තාත්තාගේ කතන්දරය නිමා වත් ම කෘෂිකර්ම ඇමතිතුමා උත්සව සභාවට පිවිසුණේ ය.හොඳම ගෙවතු තුනක් සඳහා ඇමතිතුමා අතින් ජයග්‍රාහකයින්ට ත්‍යාග පිළිගැන්වුණි.ඒ නම් අතර තාත්තාගේ නම නොතිබුණි.තිළිණ ලබාගත් තිදෙනා ම මල් වර්ග වවා රට යවන ව්‍යාපාරිකයන් තිදෙනෙකි.ලස්සන මල් වර්ග වවා ඇති නිසා ඒ ලොකු මහත්වරුන්ගේ වතු බොහොම ලස්සනට ඇතැයි මට සිතුණි. තිළිණ ලබාගත් පසු ඔවුන් සභාව ආමන්ත්‍රණය කළත් ඒ කිසිවක් අපට නොතේරුණේ ඔවුන් ඉංග්‍රීසියෙන් කතා කළ නිසා ය.තාත්තාට තිළිණයක් නොලැබීම ගැන මගේ හිතේ පැවතියේ ලොකු කණගාටුවකි.අපි උත්සවය නිමා වූ පසු එළියට පැමිණ බස් නැවතුම බලා පිය මැන්නෙමු.

“තාත්තට දුක නැද්ද..මල් වර්ග රට යවන අයට විතර ද හොඳම ගෙවතු තියෙන්නෙ..?

“දුක් වෙන්නෙ මොකට ද පුතේ..කැලණිතිස්ස වගේ රජවරු අද නෑ නොවැ.”තාත්තා මද සිනාවක් පාමින් කීවේ ය.


(මෙයට වස්තුවිෂය වූ දලුගම ග්‍රාම නාම සම්භවය පිළිබඳ ජනප්‍රවාද කතාන්දරය 1978 දී සෝමසිරි කැලණිය මහතා ප්‍රකාශයට පත් කළ  මායාරට ජනකතා නම් පොතේ දැක්වෙන්නකි.)


Monday, July 23, 2018

ගුරු නෙතට හසු නොවූ පසු පෙළින් පැනයක්


“ගිම්හානයේ අසනි වැස්ස” මගේ කුළුදුල් කාව්‍ය සංග්‍රහයෙනි.

අකුරු ඉලක්‌කම් හඳුනන අය අතරේ
නොදනිමි කිමැයි යනු ශිල්පය සහ සතරේ
ඔබ නොදකිනා පිටුපස පෙළකම නිතරේ
එළියක්‌ නොදුටු මා තවමත් ඇත අඳුරේ


පිළිතුරු කියන්නට ඔසවා නැත දෑත
"පෙර" "කම්" "කතු" විබත් ඒවා බෝ ඈත
ගණන් හදන්නට හුරු නෑ මගෙ දෑත
වේවැල් පහර මතකයි දිනයක මෑත


ගණිතය නම් නොමැත මට පිහිටා ඇත්තේ
හදන ගණන් කවදාවත් හරි නැත්තේ
පොත විසි කරයි වෙත පන්තිය එළි පත්තේ
ඔහු මට තව තවත් නම්පට බැඳ ඇත්තේ


ඉදිරි පෙළේ සිසුවන් වෙත සිත පැහැද
පසුබට නොවේ අගයන්නට උන් නොමඳ
මා වෙත නිතර ගැලුවත් අවමන් මුහුද
පැනයක්‌ මෙමට ඇත ඔබ වෙත ගුරු සබඳ


ඔබ මා බොහෝ කලකට පෙර දැන ගත්තේ
පසුපෙළ සිසුන් නැඟුමට නැහැ වෙර ගත්තේ
ප්‍රගති පොතේ මට කළු තිත්මය ඇත්තේ
ඒ වරදට ඔබේ කළු තිත කොහි ඇත්තේ  

කවි පෙළ පිළිබඳ විචාරය මෙතැනින් කියවන්න.(දිවයින - 2016/06/16)

Wednesday, July 18, 2018

නෙල්සන් මැන්ඩලා - වීරයෙකුගේ සියවස් සැමරුම.

ශ්‍රේෂ්ඨ මිනිස්සු ලෝකයේ කවර කාලයේදීත් උපදිති.මේ සටහන ලෝකයෙන් සමුගත් එබදු ශ්‍රේෂ්ඨ මිනිසෙකු පිළිබඳව ය.මේ උත්තුංග මිනිසා නමින්  නෙල්සන් රොලිහ්ලාහ්ලා මැන්ඩෙලා ය. නන්විධ  වර්ණනා මෙන් ම විවේචන ද මොහුගේ ජීවිතය පිළිබඳ ඇත.ඒ සියල්ලෙන් පෙනෙන්නේ අනෙකක් නොව ඔහුගේ ජීවිතය පිළිබඳ අප යම් කියවීමකට යා යුතු බවයි.
දකුණු අප්‍රිකානුවෝ මැන්ඩෙලාට කොතරම් හිතෛෂීද යන්න ලෝක ඉතිහාසය යන්තමින් විමසා බැලුව ද අපට පසක් වේ. සම කලු මිනිසුන්ගේ විමුක්තිය වෙනුවෙන් පෙනී සිටි ඔහු සියලු දකුණු අප්‍රිකානුවන් තම දරුවන් යැයි සැළකූ අසහාය නායකයෙකි.සුදු සමක් සහිත ඔහුගේ  ආරක්ෂක නිලදරුවෙක් දිනක් මැන්ඩෙලාගෙන් සිය පවුල ගැන විමසුවේ ය.  ඔහු පවුල යනුවෙන් අදහස් කළේ කවරක් ද යන්න අපි දනිමු.එහෙත් මැන්ඩෙලා කියා සිටියේ මිලියන ගණනක් ඔහුගේ පවුලේ සාමාජිකයන් වන බවයි.ඒ මිලියන ගණන සැදුම්ලත්තේ සමස්ත දකුණු අප්‍රිකානුවන්ගෙන් ය.ඉතිහාසයේ හමුවන සැබෑම ආඩම්බරකාර තාත්තා කෙනෙක් ලෙස ඔහු ඉතිහාසයට එක් වී හමාර ය.වර්ගවාදී අරගලවලින් පීඩිත ශ්‍රී ලංකාව වැනි රටක සංහිඳියාව ගොඬනගන්නට නම් මුලින් ම කළ යුත්තේ,දෙමළෙන් ජාතික ගීය ගැයීම වැනි පැලැස්තර දැමීම නොවන බව අපේ පාලකයෝ මෙවැනි ප්‍රතාපවත් මිනිසුන් තුළින් අවබෝධ කරගත යුත්තෝ ය.හිටපු සුදු ජනපති බෝතාගේ සුදු ආරක්ෂකයින් මැන්ඩෙලා පිටුවහල් කර යැව්වේ නැත.රටේ සාතිශය බහුතරයේ පාලකයා වුවද සුළුතරයක් වූ සුදු සම සහිත මිනිසුන් පෙළන්නට ඔහු කිසිදා වෑයම් කළේ නැත. ඔහු සම කලු පැහැ මිනිසුන් වෙන්වෙන් පෙනී සිටි නමුත් කිසිවිටෙක සෙස්සන් ප්‍රතික්ෂේප කළේ නැත.අවිශ්වාසය හා අනවබෝධය පැතිරීම වෙනුවට ඔහු මිනිසුන් තුළ ගොඩනැගුවේ විශ්වාසයි;අවබෝධයයි.මිනිසුන්ට මිනිසුන් ලෙස සලකන පාලකයෝ ලොව දුර්ලබ ය.අපේ රටේ නම් එවැනි පාලකයන් බිහිවන්නේ බොහොම කලාතුරකිනි.එහෙත් නෙල්සන් දකුණු අප්‍රිකානුවන්ගේ විමුක්තිදායකයා වනු ලැබුවේ ය.සුදු කලු භේදය දුරලූ ඔහුට දකුණු අප්‍රිකාවේ යාවජීව පාලකයා වන්නට කටයුතු සම්පාදනය කරගන්නට තිබුණි.ඒ සඳහා ඔහු වෙනුවෙන් පෙනී සිටි මිනිස්සු  රට පුරා විසිර සිටිය හ.එහෙත් ජනප්‍රියහාවයෙන් අයුතු ප්‍රයෝජන ගන්නට ඔහු මාන බැලුවේ නැත.ඔහු දකුණු අප්‍රිකානුවන්ගේ චින්තනය වෙනස් කළ අසහාය පාලකයා ය.බල ලෝභයෙන් ඉදිමී දේශපාලන  බලයට තලු මැරීම නායකයෙකුට තරම් නොවන බව මැන්ඩෙලා අවබෝධ කර ගත්තා විය යුතු ය.

නෙල්සන් මැන්ඩෙලා වීරයෙක් ලෙස අපේ හිත්වල ඇදෙන්නේ අන් කවර කාරණයක් නිසාවත් නොව,අපේ දේශපාලනය නායකයින්ගේ චරිත හා සසඳන විට මැන්ඩෙලා ඉහළ තලයක රැදී ඇති නිසා ය.

(නෙල්සන් මැන්ඩෙලාගේ ජන්ම ශතසංවත්සරය 2018 ජූලි 18 දිනට යෙදේ.)


Sunday, June 24, 2018

මොහොතකට තනිවෙන්න....

මිනිසා වනාහි සාමූහික සත්ත්වයෙකි.එහෙත් හුදෙකලාව ජීවත්වන මිනිස්සු ද නැත්තේ නො වේ.මා ඔබට ආරාධනා කරන්නේ හුදෙකලා ව ජීවත් වන්නට නොව එවැනි මිනිසුන්ගෙන් ජීවිතය ඉගෙන ගන්නට ය.හුදෙකලා ජීවිතය කොතරම් දුෂ්කර ද යන්න එසේ ජීවත් වන්නෝ දනිති.එහෙත් ජීවිතය ඉගෙන ගන්නට එය හරි අපූරු ප්‍රවේශයකි.අනෙකාට ආදරය කරන්නට මත්තෙන් අප ඉගෙන ගත යුත්තේ තමාට ප්‍රේම කරන්නට ය.තම ජීවිතය දෙස හැරී බලා ස්වයං ගවේෂණයක යෙදෙන්නට තනිකම මග කියනු ඇත.
ආයාසයකින් තනි වෙන්නට උත්සහ දැරුවොත් ඔබ තපස්වරයෙකු වී නවතිනු ඇත.එහෙයින් එසේ තනි වෙන්නට උත්සහ දැරීය යුතු නොවේ.අඩහෝරාවකට නිහඬ ව  ඔබේ සිතුවිලි අතර ඔබ තනි වෙන්න.මගේ හොඳම මිතුරා මා මිස අසල්වැසියා නොවන බව ඔබට පසක් වේවි.

“When everything is lonely I can be my best friend.”
                                                                              Conor Oberst

ඉගෙන ගන්නට ඉගෙන ගන්න.

මිනිසුන් වූ අපට ජීවිතයේ ඉගෙන ගන්නට බොහෝ දේ ඇත.බහ තෝරන වියේ සිට මරණ මංචකය දක්වා ම අපි බොහෝ දේ ඉගෙන ගන්නෙමු.මෙහි ඉගෙනීම යනුවෙන් මා අදහස් කරන්...